Monday, July 17, 2017

දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන්

විවිධ බලපෑම් සහ රාජ්‍ය බලය යොදවමින් විනාශ කරනා ලද ක්‍රිස්තියානි පාසල් අධ්‍යාපන ක්‍රමය තුල පවතින සමානාත්මතාව පිළිබඳව ඉතාමත් වටිනා ආදර්ශයක් සහිත නිදසුනක් මෙම පැරණි රාවය ලිපිය ගෙනහැර දක්වයි. 

දේවගැති ඩබ්ලිව්.ජේ.ටී. ස්මෝල්  රිච්මන්ඩ් විදුහල පාලනය කරනා ලද ජේම්ස් ඩැරල්ගේ අනුප්‍රාප්තිකයාය. ඩැරල් එතෙක් රිච්මන්ඩ් විද්‍යාලයේ ගමන් මග කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කළ විදුහල්පතිවරයාය. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ඒ අඩුව පිරවීමට සුදුසු විදුහල්පතිවරයෙකු තමන්ට නොලැබෙනු ඇතැයි කියන අපේක්ෂාභංග හැඟීම්වලින් එම විද්‍යාලයේ ශිෂ්‍යයන් වෙලීසිටින අවස්ථාවකදී ස්මෝල් ඔවුන් අතර වඩා හොඳ අලූත් බලාපොරොත්තු ඇති කළේය. මේ දෙදෙනාම බ්‍රිතාන්‍ය ජාතික මෙතෝදිස්ත පූජකයෝ වූහ. ස්මෝල් කේම්බ්‍රිජ් උපාධිධාරියෙකි. ඔහු දේවගැතිවරයකු වුවද දේවධර්මයට සීමා නොවූ විද්‍යා උපාධිධාරියෙක් විය. ඉංග්‍රීසි භාෂාව හැරුණු විට ලතින්, ග්‍රීක්,  ප්‍රංස හා ජර්මන් යන භාෂාද දැන සිටියේය. ගණිතය ඔහුගේ ප්‍රියතම විෂය විය. ස්මෝල් 1906 සිට 1920 දක්වා එම විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය. 1926 සිට 1953 දක්වා වෙනත් විවිධ රටවල මිෂනාරී කටයුතුවල නිරතවී 1956 පෙරළිය ආසන්නයේ නැවත ලංකාවට පැමිණ ඉන්පසු මරණය තෙක්ම ලංකාවේ ජීවත් විය. ස්මෝල් සිය විදුහලේ ශිෂ්‍යයන් අතර ජාතික අභිමානය ඇති කිරීම සඳහා ජාතික සංගමය නමින් සංවිධානයක් ඇති කළේය. 56 ආගමික හා භාෂාමය විප්ලවය කෙරෙහි බලපෑ ප්‍රධාන චරිත දෙකක් (පී.ද එස්. කුලරත්න හා එල්.එච්. මෙත්තානන්ද) ස්මෝල් විදුහලේ පවත්වාගෙන ගිය ජාතික අභිමාන ව්‍යාපෘතියේ උද්යෝගිමත් අනුගාමිකයෝ වූහ. ලංකාවට පැමිණ බණ්ඩාරනායකගේ 56 විප්ලවය නරඹමින් සිටි අවස්ථාවේදී ඒ විප්ලවයේ ප්‍රමුඛ චරිත දෙකක් තමා පාසලට හඳුන්වා දෙන ලද ජාතික අභිමාන ව්‍යාපෘතිය නැමති ගර්භාෂයේ හැදුණු අය බව පෙනුණු විට ස්මෝල් තුළ ඇතිවන්නට ඇත්තේ කෙබඳු හැඟීමක්ද යන්න පැහැදිලි නැත. කුමන ආගමකට හෝ කුමන ජාතියකට අයත් වුවද ස්මෝල් ගුරුවරයකු සඳහා පමණක් නොව පැවිදිවරයකු සඳහාද දැක්විය හැකි හොඳ ආදර්ශ ප්‍රතිරූපයක් ලෙස සැලකිය හැකිය. ඔහු අධ්‍යාපනය සඳහා පූර්ණ කැපවීමක් පෙන්නුම් කළ හා ඉතාමත් සරල, චාම් ජීවිතයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විය.

නායකයන් හොඳට හෝ නරකට ලබාදෙන ආදර්ශයන් අනුගාමිකයන් කෙරෙහිද බලපායි. මහා ගණයෙහිලා සැලකිය හැකි ශ්‍රේෂ්ඨ නායකයන් ලබාදෙන ආදර්ශ සමහර විට සමාජය කෙරෙහි අවුරුදු දහස් ගණනක් බලපායි. ඉවසිය නොහැකි තරමට ගඳගහන රටක තත්ත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකාවට ස්මෝල් ලබාදී තිබෙන මහා ආදර්ශයක් මෙසේය.

ආර්.ඒ. ඩි මෙල් හ ඩී. එම්. රාජපක්ෂ
ස්මෝල් දේවගැතිවරයකු වුවද ක්‍රීඩාවට මහත් සේ ඇලූම් කළේය. ඔහු විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සඳහා අනුපමේය සේවයක් කළේය. එකල රිච්මන්ඞ් විද්‍යාලයේ ක්‍රිකට් නායකයා තෝරාගනු ලැබුවේ පාසල් ශිෂ්‍යයන්ගේ ඡන්දයෙනි. සාකච්ඡාවට ලක් කරන්නට යන මෙම අපූරු සිද්ධිය සිදුවී තිබෙන්නේ 1916දීය. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සිටි සුදුසුම පුද්ගලයා වී ඇත්තේ පෙර වසරේත් විදුහලේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රියා කළ ඩී. එම්. රාජපක්ෂය. ඩී.එම්. රාජපක්ෂ 1936 සිට 1948දී මියයන තෙක්ම හම්බන්තොටින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ රුහුණේ සිංහයා නමින් හැඳින්වුණු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා (පියාගේ සහෝදරයා) ය. ඔහුගේ තරඟකරු වූයේ ලංකාවේ ප්‍රමුඛ ධනවත්ම පවුලකින් පැවත එන ආර්.ඒ. ඩි මෙල්ය. ඔහු 1940 සිට නිල වාර දෙකක් කොළඹ නගරාධිපති වශයෙන් ක්‍රියා කළ අතර 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දකුණු කොළඹ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයාය. 1948දී ඡන්ද පෙත්සම් නඩුවක් නිසා ඔහුට මන්ත්‍රීකම අහිමි විය.

ආර්.ඒ. ඩි මෙල්ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වුවත් ඩී.එම්. රාජපක්ෂට සම මට්ටමේ තැබිය හැකි ක්‍රීඩකයෙක් නොවීය. ඉතා ධනවත් පවුලකින් පැවත එන්නකු වීම හේතු කොටගෙන ඔහු ක්‍රිකට් නායකයා තෝරන තරගයට ඉදිරිපත් වන අවස්ථාව වනවිට විශාල වශයෙන් ශිෂ්‍යයන්ට කෑමබීමෙන් සංග්‍රහ කිරීමෙන් විදුහලේ ශිෂ්‍යයන් අතර ජනප්‍රිය පුද්ගලයකු බවට පත්ව සිටියේය. අවසානයේ ක්‍රිකට් නායකයා තෝරන තරගයෙන් ඒ තනතුර සඳහා සුදුසුම පුද්ගලයාව සිටි ඩී.එම්. රාජපක්ෂ පරාජය කොට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත්වීමට ඔහු සමත් වී තිබේ.

මෙල්ගේ ජයග්‍රහණය හා රාජපක්ෂගේ පරාජය විදුහල්පති ස්මෝල් ශිෂ්‍යයන්ට දැනුම් දෙන ලද්දේ ඒ උද්වේගකර අවස්ථාවට සහභාගි වූ සියලූදෙනා විස්මයට පත්කරන දැනුම්දීම් ගණනාවක්ද ඇතුළත් වන ආකාරයටය. ඩී.එම්. රාජපක්ෂ පරාජය වී ශිෂ්‍ය ඡන්දයෙන් ආර්.ඒ. ඩි මෙල් තේරී පත්ව සිටින බව පළමුවෙන් ඔවුන්ට දැනුම් දුන්නේය. හෙට සිට ඩී. එම්. රාජපක්ෂ රිච්මන්ඞ් විද්‍යාලයේ අධ්‍යාපනය නොලබනු ඇති බවත් ඒ වෙනුවට කොළඹ වෙස්ලි විද්‍යාලයට එකතු වනු ඇති බවත් ප්‍රකාශ කරමින් එම වසරේ රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම කිසිම ක්‍රිකට් තරගයකට සහභාගි නොවනු ඇති බවත් ප්‍රකාශ කළේය. විදුහල්පති ස්මෝල්, රාජපක්ෂගේ පරාජය කෙරෙහිත් ආර්.ඒ. ඩි මෙල්ගේ ජයග්‍රහණය කෙරෙහිත් දූෂණය බලපෑ ආකාරය සියැසින් දැක්කේය. මෙල් ජයගත්තේ ඒ තනතුරට සුදුසුම පුද්ගලයා වීම නිසා නොව එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා අත දිගහැර වියදම් කිරීමට ඔහුට පුළුවන්කම තිබුණු නිසාය. මෙල්ගේ ආගම ක්‍රිස්තියානි වුවත් රාජපක්ෂ බෞද්ධයෙක් විය. ස්මෝල් ක්‍රිස්තියානි දේවගැතිවරයකු වුවද ක්‍රිස්තියානි ශිෂ්‍යයකු බෞද්ධ ශිෂ්‍යයකු යටපත් කරමින් ලැබූ අයථා ජයග්‍රහණය ඉවසන්නට ඔහු සූදානම් නොවීය. තමන්ගේ විද්‍යාලයේ ශිෂ්‍යයන් යුක්තියට පක්ෂපාත නොවී මෙල්ගේ නිර්ලෝභී සංග්‍රහයන්ට නතුවී අයුක්තිය ජයග්‍රහණය කරවීමට දායකවීම ඔහුගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. ඒ වසරේ සිදුකරන්නට නියමිතව තිබුණු සියලූ ක්‍රිකට් තරග අවලංගු කිරීමකින් දූෂණයෙන් නායකත්වයට තේරී පත්වූ පුද්ගලයාට පමණක් නොව එහිදී දූෂණයට නතුවූ ශිෂ්‍යයන්ටද පාඩමක් ඉගැන්වීය. එකල කොළඹ වෙස්ලි විද්‍යාලය සලකන ලද්දේ ලංකාවේ සියලූ මෙතෝදිස්ත පාසල්වලට තිබුණු මව් පාසල වශයෙනි. ඩී.එම්. රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙස්ලි විද්‍යාලයට අනුයුක්ත කිරීම මගින් ඔහුට සිදුවූ අසාධාරණයට වන්දි ගෙවීමක් සිදුකළා පමණක් නොව ඒ මගින් තමා විදුහල්පති වශයෙන් ක්‍රියාකරන රිච්මන්ඩ් විද්‍යාලයට දඬුවම් කිරීමක්ද සිදු කළේය.

මේ මගින් විදුහල්පති ස්මෝල් රිච්මන්ඞ් විද්‍යාලයට පමණක් නොව රටේ අන් සියලූ විද්‍යාලවලටද ලබාදී තිබෙන ආදර්ශය සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨ ආදර්ශයක් ලෙසය. රටට අවශ්‍යව ඇත්තේ එවැනි නායකයන්ය. රටේ අවාසනාවකට රටට නැත්තේද එවැනි නායකයන්ය.

උපුටා ගැනීම: "දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන්"  ලිපියෙනි 

Sunday, July 16, 2017

කුණු කතාවක් හෙවත් කුණු කථිකාවක්

වර්තමාන ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙන ප්‍රධාන ගැටළු අතරින් මුලික තැනක් ගන්නේ කුණු බැහැර කිරීමේ ක්‍රමවේදය පිලිබඳ ගැටළුකාරී තත්වයයි. රට පුරාම මෙම ගැටළුව තිබුනද එය වඩාත්ම උග්‍ර වී ඇත්තේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලය. නිවෙස් වලින් බැහැර කරනා ද්‍රව්‍ය "කුණු" නැතහොත් "අපද්‍රව්‍ය" ලෙසින් ජන මනසේ නිදන්ගතව ඇත. ඇත්තෙන්ම කිවහොත් බැහැර ද්‍රව්‍ය කුණු බවට පත් කරනු ලබන්නේ මිනිසුන් විසින්මය.  ඒ සියලුම බැහැර ද්‍රව්‍ය එක මල්ලකට එකතු කිරීමේ හේතුවෙනි. ඉතාමත් සුළුතරයක් නිවෙස් වල සහ බහුතරයක් කාර්යාල වල බැහැර ද්‍රව්‍ය වෙන් වෙන්ව එකතු කලද ඒවා අදාළ ස්ථානයෙන් බැහැර කරනා අවස්ථාවේදී එකම ට්‍රැක්ටරයකට හෝ වාහනයකට පටවනු ලබනා බව නිරීක්ෂණය කළ හැක. මේ හේතුවෙන් සිදු වන්නේ නැවත ප්‍රයෝජනයට ගත හැකි වටිනා කමකින් යුක්ත සම්පතක් "කුණු" ලේබලය යටතේ පරිසර දුෂක කාරකයක් බවට පත් වීමය. නැතහොත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කුණු වීමය.

නිවෙස් වලින් බැහැර කරනා ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන ආකාරයට වර්ගී කරණය කල හැක.
1. ඉතිරි ආහාර, ඉඳුල් සහ ආහාර සැකසීමේදී ඉතිරිවන කොටස් 
2. පිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන් ( උදා:- වතුර බෝතල්, පොලිතීන් සහ ප්ලාස්ටික් ඇසුරුම්)
3. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන් (උදා:- ඉඳුල් සහිත පොලිතීන්)
4. පිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් 
5. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් 
6. වීදුරැ 
7. ලෝහ 
8. භාවිතයෙන් පසුව ඉවත් කරනා ඉලෙක්ට්‍රොනික උපකරණ සහ කොටස්
9. රෙදි, රබර් සහ වෙනත් විවිධ බැහැර ද්‍රව්‍යය 
10. ගෙවතු වලින් ඉවත් කරනා ශාක කොටස්.

මෙම ද්‍රව්‍ය අතරින් වේගවත්ව ඉවත් කලයුතු බැහැර ද්‍රව්‍ය ලෙසින් පහතින් දක්වෙන වර්ග තුන පෙන්වා දිය හැක. 
1. ඉතිරි ආහාර, ඉඳුල් සහ ආහාර සැකසීමේදී ඉතිරිවන කොටස් 
2. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන්
3. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් 

ඉතිරි වර්ග සියල්ලම කාලයක් පුරා එකතු කිරීමෙන් අනතුරුව එකවර (සතියකට හෝ මාසයකට වරක්) බැහැර කිරීමේ හැකියාව පවතියි. එලෙසින් එකතුකිරීමෙන් අවට පරිසරයට කිසිදු බලපෑමක් වන්නේ නැත.

ඉහත ලයිස්තුවේ දක්වා ඇති ද්‍රව්‍ය අතරින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රියාවලිය අපහසු වන්නේ 
1. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන්
2. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ්
3. ගෙවතු වලින් ඉවත් කරනා ශාක කොටස් යන වර්ග තුන පමණි
අනෙකුත් සියලුම බැහැර ද්‍රව්‍යය ඍජුවම නැවත ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් පවතියි. 

නමුත් මේ සියළු බැහැර ද්‍රව්‍ය එකට එකතු කල විට ඒවා අතරින් කිසිම ද්‍රව්‍යයක් වියදම්කාරී තේරීමකින් සහ සැකසීමෙකින් තොරව නැවත භාවිතයට ගැනීමේ හැකියාව නොලැබී යයි. එනම් මේ සියල්ල එකතු වී කුණු බවට පත් වෙයි.

මේලෙස පරිසර දුෂණකාරී සහ ගැටලුකාරී කුණු කඳු නිර්මාණය වීමට ප්‍රධාන හේතුව බවට පත්වී තිබෙන්නේ අදාළ බලධාරීන් විසින් ඉවත දමනා ද්‍රව්‍ය එකතු කිරීම එකම ආයතනයක් වෙත ලබාදීමය. එවිට කුණු බැහැර කිරීමේ යෙදී සිටින රාජ්‍ය ආයතන සහ කොන්තරාත් කරුවන් කරනුයේ එක මධ්‍යස්ථානයකට සියල්ල එකතු කර විකිණිය හැකි දේ පමණක් තෝරා විකුණාගෙන ඉතිරිය අඩි  සිය ගණන් උස කුණු කඳු බවට පත් කිරීමය.

ආහාර බැහැර ද්‍රව්‍ය නිසි වෙලාවට එකතු කරන්නේ නම් ඒවා ඌරන් වැනි සත්ව ගොවිපල සඳහා කදිම සත්ව ආහාරයකි. ඒවා එකතු කිරීම සුළු පරිමාන සත්ව ගොවීනට භාර දෙන්නේ නම් ඔවුන් නිවෙස් වලටම ගොස් එකතු කරගන්නවා ඇත. 

ඒ ආකාරයට අනෙකුත් ද්‍රව්‍ය එකතු කිරීමද අදාළ විවිධ පුද්ගලයන් හෝ  ආයතන වෙත පවරන්නේ නම් ඒවාද කුණු කඳු බවට පත් නොවී ඍජුවම ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලා වෙත යනු ඇත.  ගෙවතු වලින් ඉවත් කරනා ශාක කොටස් කොම්පෝස්ට් නිෂ්පාදනයට හෝ පහත බිම් ගොඩ කිරීමට යොදා ගත හැකිය. 

මේ ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් බැහැර ද්‍රව්‍ය සැකසීමේ මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු වන්නේ 
1. අපිරිසිඳු ප්ලාස්ටික් සහ පොලිතීන්
2. අපිරිසිඳු කඩදාසි සහ කාඩ්බෝඩ් පමණි. ඉතිරි සියළු බැහැර ද්‍රව්‍ය කිසිදු වියදමකින් හෝ පරිසර දුෂණයකින් තොරව නිවෙස් හෝ කාර්යාල වලින් ඉවත් වනු ඇත.

Thursday, July 13, 2017

ලංකාවේ දුප්පත් කමට හේතුව අමනකමය - අජිත් පැරකුම් ජයසිංහ ගේ ලිපියට ඌණ පූරණයක්

අජිත්  පැරකුම් ජයසිංහ විසින් ලංකාවේ දුප්පත් කමට හේතු සම්බන්ධව සමාජ ජාල සංවාදයකට පසුව ඒවා ලැයිස්තු ගත කර තිබුණි. එම සංවාදයට අනුව ඔහුගේ ලැයිස්තුව පහතින් වෙයි.

1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)
2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු
3. බේබදුකම
4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය
6. කම්මැලිකම
7. බෝ නොවෙන රෝග
8. මහළු වියේදී, අබල දුබල වූ විට සමාජාරක්ෂණයේ පිහිටක් නැති වීම
9. කාන්තාවන් රැකියා නො කිරීම (ශ්‍රම බලකායෙ ඉන්නෙ කාන්තාවන්ගෙන් 35%යි)
10. රැකියා කුසලතා ගොඩනගා නො ගැනීම
11. සූදුව හා ලොතරැයි
12. පවුල් සැලසුම් නො කිරීම
13. රාජ්‍ය අකාර්යක්ෂමතාව
14. දුප්පත්කම මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල දූෂණ
15. සහනාධාර

ජිත්  පැරකුම් ජයසිංහගේ  මතය කෙසේ වෙතත් මා නම් දකින්නේ ලංකාවේ දුප්පත් කමට එකම හේතුව සමස්ථ ජනතාවගේම අමනකම බවය.  එය උදාහරණයකින් පැහැදිලි කර හැක. පහත චායාරුපයේ දැක්වෙනුයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක විදුලි පංකාවකි.


වසර පහකට අඩු කාලයක් පමණක් පැරණි ඉන්දියාවෙන් ගෙන්වන ලද මේ දුම්රිය මැදිරි වල විදුලි පංකා ක්‍රියා විරහිත වීමට ගතවුයේ ඉතාමත් සුළු කාලයකි. ක්‍රියා විරහිත වීමට හේතුව පංකාවේ විදුලි මෝටරය ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමට අවශ්‍ය කැපෑසිටරය දෝෂයට ලක්වීමය. මෙම  කැපෑසිටරයහි තොග මිල රුපියල් අසුවක් පමණ වෙයි. කැපෑසිටරය මාරු කිරීම ඉතාමත් පහසු ක්‍රියාවකි. නමුත් අතිරික්ත සේවකයන් දහස් ගණනක් පිං පඩි ගන්නා දුම්රිය දෙපාර්තමේන්තුවේ කැපෑසිටරය මාරු කිරීමට සේවකයෙක් නොමැත. හිටියත් කරන්නේ නැතිද නැතිනම් නිසි වෙලාවට අමතර කොටස් නොලැබෙන්නේද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි.

කැපෑසිටරය දෝෂයට ලක්වූ විදුලි පංකාවේ ස්විචය දැමු විට පංකාව ක්‍රියාත්මක වන්නේ නැති අතරම එහි මෝටරය අධික රත් වීමකට භාජනය වෙයි. අධික තාපය හේතුකොටගෙන මොටර්යේ දඟරය පිලිස්සී යයි එයින් මුළු පංකාවම නැවත ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමට විනාශ වෙයි. 

රුපියල් අසුවක් වැයකොට විනාඩි පහක කාලයකදී පිළිසකර කිරීමට හැකි පංකාව විනාශව යන තෙක්ම ඇස්කන්  සිටින තරමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් අමනයන්ය. මෙහි වඩාත්ම සිත් ඇදගන්නා සුළු කාරණය වන්නේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල සංඛ්‍යාවක් දහදිය වගුරුවමින් විදුලි පංකා ක්‍රියා විරහිත දුම්රිය වලම ගමන් කිරීමය.

විදුලි පංකාව ක්‍රියාත්මක කිරීම සඳහා ස්විචය දමනා මගීන්ද පංකාව ක්‍රියාත්මක නොවන බව දුටු විට නැවත ස්විචය විසන්ධි නොකොට එසේම තිබෙන්නට හරිති. එයින් රත්වීමට ලක් වන පංකාව පිලිස්සී යයි. පංකාව පිලිස්සී යන ලෙසින් වගකීම් විරහිතව කටයුතු කරනා මගීන් ද අමනයන් නොවන්නේද?

අවසානයේ සිදු වන්නේ රුපියල් අසුවකින් පිළිසකර කරහැකි රුපියල් දස දහසක් පමණ වටිනා උපකරණයක් විනාශ වී යාමය එනම් පංකාව පිළිසකර කිරීමට යන මුදල මෙන් එකසිය විසිපස් ගුණයක විනාශයක් සිදුවීමය.

නැවත පංකා සවි කිරීමට මුදල් යෙදවෙනුයේ ජනතාවගෙන් අයකරගන්නා බදු මුදල් වලිනි.  ජනතාවගේ ආදායමෙන් අධික බදු අයකරගන්නා විට දුප්පත් කම ඇති නොවන්නේද?

එනම් විදුලි පංකා නැවත සවිකිරීම නිසා බදු වැඩි වී ඇතිවන දුප්පතා කමට හේතුව වන්නේ දුම්රිය නිලධාරීන් සහ මගීන් යන දෙපිරිසේම අමන කම නොවන්නේද?