Tuesday, May 2, 2017

මර්සලින් ජයකොඩි පියතුමා ලියූ අමුතු ගීතිකාව

මා ජීවත් වන පයියාගල ධීවර ගම්මානය සංගීතය, නාට්‍ය සහ රංග කලාවට තෝතැන්නකි. මේ ගම්මානයෙන් බිගිවු ප්‍රසිද්ධ කළා කරුවන් රැසක් සිටිති. එයට අමතරව අප වෙසෙන ගම පාස්කු ගම්මානයක් (Passion Village) වශයෙන් ද හැඳින්විය හැක. ලොව පුරා පාස්කු ගම්මාන රැසක් පවතියි. පාස්කු ගම්මානයක් යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය රඟ දැක්වෙන දුක්ප්‍රාප්ති ප්‍රසංගය පාරම්පරිකව වේදිකා ගතකරනු ලබනා ගම්මානයන්ය. 


අප ගම්මානය  තුල වන්දනාව සඳහා දේවස්ථාන තුනකිකි. මේ අතරින් අප අයත් වන්නේ අපට කිට්ටුම දේවස්ථානය වන ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයටය.  කම්කරුවන්ගේ ආරක්ෂක මුනිවරයා ලෙස නම්කොට ඇත්තේ ශුද්ධවූ ජුසේ මුනිඳුන්ය. එබැවින් අප පල්ලියේ මංගල්‍යය පවත් වන්නේ ලෝක කම්කරු දිනය වන මැයි පළමුවන දින දීය. 

මේ මංගල්‍යයේදී ලංකාවේ කිසිදු දේවස්ථානයක නොගැයෙන අමුතුම ආරක ගීතිකාවක් ගායනය කෙරියි. එම ගීතිකාවට කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය කරන්නේ නැත. ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගත් මංගල්‍ය පෙරහැර ගම වටා කිලෝමීටර හතරක පමණ දුරක්  ගමන් කරයි. ලීයෙන් තැනූ දොලාවක් මත රඳවනු ලබන ප්‍රතිමාව රැගෙන යන්නේ ධීවරයන් විසිනි. එම ප්‍රතිමාව දේවස්ථානයට ඇතුළු කරනා අවස්තාවේදී මේ ගීතය ගායනය කරනු ලබන්නේ එය රැගෙන යන ධීවරයන් විසිනි. රළු කටහඬකින් යුත් හැඩි දැඩි ධීවරයන්ගේ ස්වර පරාසය වන  බැරිටෝන් සහ ටෙනර් කටහඬ වලින්, හඬ නගා කෑ ගසමින් මේ ගීතිකාව ගායනයේ යදෙයි. (රොක් ගායකයින්ගේ ස්වර පරාසය බැරිටෝන් හෝ ටෙනර් වෙයි) 

ගීතයේ නිර්මාපකයා වන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. එතුමන් 1933 - 39 කාල වකවානුවේ පයියාගල මීසම් භාර පියතුමා වශයෙන් කටයුතු කරනා කාලයේදී මේ ගීතිකාව නිර්මාණය කර ඇත. 

අප කුඩා කාලයේදී මේ ගීතිකාව විශාල ජවයකින් යුතුව ගායනය  කෙරින. එකල ගායනය අසා සිටින විට හිරිගඩු පිපෙනා අන්දමේ හැඟීමක් ජනනය වින. නමුත් දැන් ගීතයේ ගායනය තුල එකල තරම් ජවයක් නැත. අතීතයේදී  ඔරු හබල් ගා රළු මුහුද සමග පොර බැදූ ධීවරයන්ගේ ජවය මෝටර් බෝට්ටු පැමිණීමත් සමග හීන වීම මෙයට හේතුව විය හැකිය.

ගීතිකාවේ වීඩියෝව

ගීතිකාවේ පද මාලාව මෙසේය 

සුසුදු ජුසේ මුනිතුමනී වනු සරණේ සුදු පියෙනී 
දිළිඳු අපේ රජාණෙනී තුති පුදමු නිති දිනෙනී//

සුරිඳු පුතුන් නැති වීලා ලහි ලහියේ සොයා ගියේ 
දුක් කඳුලින් පිරි අපගේ සැනසුම වේ මුනිතුමෙනී

සග ලොව මහා සෙන්පතිඳී  මොක් කිරුළේ රජාණෙනී 
දෝත් නගා වැඳ වැටිලා තුති පුදමු ජුසේ පියේ 

සුවඳ මලින් ඔබ සරසා ගීත ගයා ඔබ නැමදා 
පෙමැති දරු අප සැවොමා තුති පුදමු සරණ පතා 

හැම විපතින් අප ගලවා ජේසු වෙතේ අප රඳවා 
ඔබ දරු කැළ අප සැවොමා දෙන්න පියේ නිති සරණා 

8 comments:

  1. //අතීතයේදී ඔරු හබල් ගා රළු මුහුද සමග පොර බැදූ ධීවරයන්ගේ ජවය මෝටර් බෝට්ටු පැමිණීමත් සමග හීන වීම මෙයට හේතුව විය හැකිය.//

    මේක ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නම් නැහැ. නමුත් හබල් ගා ගෙන ගිය කාලේ හැඩි දැඩි සිරුරක් තියෙන ජව සම්පන්න අයට විතරයි රැකියාව ඔරොත්තු දුන්නේ. නමුත් මෝටර් බෝට්ටුව පැමිණීමත් සමගම අතීතයේ තරම් ජවයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ දරා ගැනීමේ ශක්තිය පමණයි.

      Delete
  2. ගරු මර්සිලින් ජයකොඩි පියතුමගෙ අතින්
    කෙරු ගීතිකා විඳගත හැක සැමට ඉතින්
    විරු කම්කරු දිනක මංගල්ලයක් බැතින්
    කෙරු ගීතිකාවේ රස අද නැතිද ඉතින්.....

    ජයවේවා!!!

    ReplyDelete
  3. ජුසේ වාස් මුණිතුමන්ගේ මංගල්ලෙට කිහිපවතාවක්ම මම මේ පල්ලියට ඇවිල්ලා තියෙනවා...

    ReplyDelete
  4. පද පෙළ නම් වෙනස් ඒත් තාලය නම් "මරද මඩු රැජිනියනි " කියන ගීතිකාවේ තාලයම තමා ඒ නිසා මට නම් මේක ඒ හැටි අමුතුයි කියල නම් කියන්න බෑ . කට්ටිය කියන විදිය නම් මට අවුල් .. සද්දේ විතරයි ... ගීතිකාවක් වගේ නම් නෑ .. සමාවෙන්න කිව්වට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ගීතිකාව රෙකෝඩ් කර ගන්න අවුරුදු ගණනක් තිස්සේ බලාගෙන හිටියා. එක අවුරුද්දක පල්ලියට යනකොට ගීතිකාව කියල ඉවරයි. ඊළඟ අවුරුද්දේ මම එක්ස්පෝ මිලානෝ එකට ගියා. අනිත් අවුරුද්දේ හොඳ කැමරාවක් තිබ්බේ නැහැ.

      මේ අවුරුද්දේ ගීතිකාව හරියට කිව්වේ නැහැ. ගීතිකාව ගැන තියෙන උනන්දුව දැන් නැතිවෙලා ගිහින්. මේ පොස්ට් එක ලිව්වෙත් එක ගොඩ අරගන්න හිතාගෙන. ලබන අවුරුද්දේ හරියට කියන්න කට්ටිය එක්ක කථා කරන්න ඕන.

      "මරද මඩු රැජිනියනි " ගීතිකාවේ රේකොඩින් එකක් තියෙනවා නම් ලින්ක් එක දාන්න

      Delete
  5. https://www.youtube.com/watch?v=VUJo9UrxT5k

    ReplyDelete